Monday, May 13, 2013

‘බදු රජා’ ආක්ෂේ


වසර කීහිපයක් තිස්සේ ‘ඛාන්’ ලා රජ කරන බොලිවුඩ් සිනමාවේ වැඩිම බදු මුදලක් ගෙවන්නේ කවුරුන් කියල ද ඔබ හිතන්නේ? ‘ඛාන්’ කෙනෙක් වෙන්න ඇති.’ එහෙම හිතෙන්න ඉඩ තියෙනවා. ශාරුක් ඛාන් ද? සල්මන් ඛාන් ද? එහෙමත් නැත්නම් සායිෆ් අලි ඛාන් ද? නැහැ. මේ කිසිවෙකු නොවෙයි.

තමන් උපයන ආදායමෙන් වැඩිම මුදලක් ඉන්දීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන්නේ ආක්ෂේ කුමාර්. පසුගිය අවුරුදු 5 තිස්සේ ඔහු ගෙවූ බදු මුදල් අනෙක් සුපිරි නළු පිරිසට වඩා වැඩියි. 6 වැනි වතාවටත් ඔහු බදු ගෙව්වේ පසුගිය 15 දායි. එදින ඔහු ගෙවූ මුදල ඉන්දීය රුපියල් කෝටි 19 ක්!

ඒ නිසා මේ වන විට වාර්ෂිකව බදු ගෙවීම අතින් ඔහු ශාරුක්, සල්මන් සහ සායිෆ් පරාජය කර තිබෙනවා. ආක්ෂේට මේ තරම් ප්‍රමාණයක් බදු ගෙවන්නට සිදුවී ඇත්තේ ඔහු ලබන ආදායම සුළු පටු නොවන නිසයි. ඔහු මෑතකදී රඟපෑ චිත්‍රපට රැසක්ම ආදායම් වාර්තා තබන්නට සමත් වීම මෙයට ප්‍රධාන හේතුවයි.


  ආක්ෂේ ගේ රංගන ඇතුළත් අලුත්ම චිත්‍රපටය ‘ස්පෙෂල් 26'. පසුගිය වසරේ දී ඔහු රඟපෑ චිත්‍රපට 4 ක් ද රසික රසිකාවියන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද තිරගත වුණා. ‘ඛිලාඩි 786’, ‘හවුස් ෆුල් 2’, ‘රව්ඩි රථෝර්’ සහ ‘ඕ මයිගෝඩ්'. එම චිත්‍රපට හතරයි.

ළඟදීම තිරගත වීමට නියමිත ‘නාම් හේ බොස්’, ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් මුම්බායි - 2’ සහ ‘රාමන්නා’ යන චිත්‍රපටවලින් ද ආක්ෂේ ගේ නොසිඳෙන රංගන කෞශල්‍යය රසික පිරිසට වින්දනය කළ හැකියි.

මේ චිත්‍රපට අතරින් ‘නාම් හේ බොස්’ ආක්ෂේ විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් බව ද සටහන් කළ යුතුයි. ඉන්දීය සිනමා මාධ්‍යවේදීන් පවසන්නේ ආක්ෂේ ගේ රැඟුම් ඇතුළත් වන මේ චිත්‍රපට ද සාර්ථකව තිරගත වන බවට කිසිදු සැකයක් ‍නැති බවයි.


ආදායම් බදු ගෙවීමේ ‘තරගයේ දී’ දෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ බොලිවුඩ් සිනමාවේ දඩබ්බරයා, සල්මන් ඛාන්. ඔහු ගෙවූ බදු මුදල රුපියල් කෝටි 11 ක්. ආක්ෂේට දෙවැනි වුණත් සල්මන් ගේ සාර්ථකත්වය නොසලකා හරින්නට බැහැ.

මේ සාර්ථකත්වයට ඉවහල් වුණේ ඔහු රඟපෑ ‘ඒක්ථා ටයිගර්’, ‘ඩාන්බාග් 2’ යන චිත්‍රපටයි. පසුගිය වසරේ දී තිරගත වූ මේ චිත්‍රපට යුගලය ලැබූ මුළු ආදායම ඉන්දීය රුපියල් කෝටි 150 ක්. එවැනි සාර්ථකත්වයක් ලද සල්මන් මේ වසරේ දී රසික රසිකාවියන් හමුවට පැමිණෙන්නේ ඔහුගේ ම නිෂ්පාදනයක් වන ‘මෙන්ටල්’ නම් වූ චිත්‍රපටයෙන් පමණයි.

ඔහු සිනමා රංගනයෙන් මඳකට ඈත්වූ බවක් පෙනෙන්නට තිබෙනවාදැයි සමහරු මේ අතරේදී විමසනවා. එවැනි අදහසක් සල්මන් ගෙන් නොපැවසුණ ද ඔහු ඉන්දීය රූපවාහිනී චැනලයක වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට ගිවිසුම් අත්සන් කර තිබීම මෙයට හේතුවක් විය හැකියි.

කවදත් ‘කිං ඛාන්’ ලෙස කවුරුත් හැඳින්වූ ශාරුක් ඛාන් බදු ගෙවීමේ ‘තරගයේදී හිමිකර ගෙන සිටින්නේ තුන්වැනි ස්ථානයයි. ඔහු ගෙවා ඇති මුදල, ඉන්දීය රුපියල් කෝටි 10.5 ක්. ශාරුක් ළඟට පැමිණ සිටින්නේ අමීර් ඛාන්. ඔහු ගෙවා ඇත්තේ රුපියල් කෝටි 7.5 ක බදු මුදලක්.

පසුගිය වසරේ දී ඔහු රඟපෑ කිසිදු චිත්‍රපටයක් තිරගත වුණේ නැහැ. මේ වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු රඟපෑ ‘ධූම් - 3’ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. දැවැන්ත නිෂ්පාදනයක් වූ මේ චිත්‍රපටය තිරගත වීමෙන් පසුව ලබන වසරේ දී අමීර්ට දැනට වඩා බදු මුදලක් ගෙවන්නට සිදුවේදැයි කියන්නට බැහැ.

සුරූපී බොලිවුඩ් නිළියන් අතරින් වැඩිම බදු මුදලක් ගෙවන නිළිය හැටියට පළමු තැන ‘දිනා ගෙන’ සිටින්නේ කට්රිනා කායි‍ෆ්. ඇය ගෙවූ බදු මුදල රුපියල් කෝටි 4.5 ක්.කරීනා කපූර්, කට්රිනා ළඟින්ම සිටිනවා. ඇය ගෙවා ඇත්තේ රු. කෝටි 4 ක බද්දක්. මේ බදු ගෙවීමේ ‘තරගයේ’ නිළියන් ගෙන් තුන්වැනි තැන ලබා ඇත්තේ ප්‍රියංකා චොප්රායි. ඇය රු. කෝටි 2 ක මුදලක් පසුගිය වසර වෙනුවෙන් ගෙවා තිබෙනවා.

No comments:

Post a Comment